18 th amendment & future

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තවමත් ගෙවා දමමින් සිටින්නේ ස්වකීය පළමු ජනාධිපතිධූර කාලයේ අවසන් මාස කිහිපයයි. තමන් අවසන් විධායක ජනාධිපතිවරයා බවට 2005 වසරේදී සපත කළ ඔහු එළඹෙන්නේ විධායක ජනාධිපති ධූරයේ අවසාන නිලකාලය බව ප‍්‍රකාශ කලේය. ඔහුගේ රජය ප‍්‍රකාශ කලේය. ශ‍්‍රී ලාංකික දේශපාලන භාවිතයේ ප‍්‍රතිපත්තීන් යනු තවදුරටත් හුදු විකාර බව ප‍්‍රත්‍යක්ෂ කරමින් ඔහු නැවතත් ජනාධිපතිධූරයට තරඟ වැදුනේ පළමු ජනපතිධූර කාලය අවසන් වීමටත් මත්තෙනි.

යුධ ජයග‍්‍රහණයේ කීර්තිය සදාකාලිකව තොරොම්බල් කළ නොහැකි බව ඔහු වටහා ගන්නට ඇත. යුධ ජයග‍්‍රහණයේ රැස්මාලා මතින් ලාංකීය සමාජයේ තැරැුව්කාර බලවේගයන් එක පෙලකට එක්කර ගනිමින් කෙසේ හෝ දෙවන ධූර කාලය දිනා ගැනීමට රාජපක්ෂ ජනාධිපතිවරයා සමත්විය. දුඟඳ හමන යථාර්ථයේ විලවුන් ගැල්වීමට දේශපේ‍්‍රමී ජාතික නායකයින් සංවේදි කලාකරුවන් එකපෙලට රැස්වූහ.

නමුත් කාරිය තවමත් නිමාවී නොමැත. 18 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට පැමිණ තිබේ. ඒ අන් කිසිවකට නොව ජනාධිපතිධූරයේ සදාකාලිකව වැජඹීම පිණිසය.

සමාජය නිද්‍රාශීලිව සිටින මොහොතක දේශපාලනික වශයෙන් උදාසීනව අවිශ්වාසීව සිටින මොහොතක 18 වන ව්‍යවස්ථා සංශෝධනය පැමිණ තිබේ. රජය මේ සටහන තබන තුරුත් මහජනතාව වෙත ඉදිරිපත් කර නොමැති මෙම සංශෝධනය තුළ ඇති ප‍්‍රධාන යෝජනා කිහිපයකි.

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 31(2﴿වගන්තය ඉවත් කිරීම මෙහි ප‍්‍රථම යෝජනාවයි. එම වගන්තිය තුළින් කියැවුනේ දෙවරක් ජනාධාපති ධූරයට තෝරාගත් කිසිම තැනැත්තෙක් ඉන් පසුව එම ධූරයට තෝරා පත්කර ගැනීමට සුදුස්සෙක් නොවන බවයි. 31(3ඒ﴿ වගන්තිය ද ජනාධිපති වරයාට  ඕනෑම වාර ගනනක් තරඟ කල හැකි පරිදි සංශෝධනය කර තිබේ. සංශෝධනයෙන් අනතුරුව ජනපතිවරයාට ස්වකීය අභිමතය පරිදි  ඕනෑම වාර ගණනක් ජනාධිපතිධූරයට තරඟ කිරීමටත් ජයග‍්‍රහණයෙන් පසුව ධූරය දැරීමටත් හැකිය. එමෙන්ම ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීමේ 17 වන සංශෝධනය තම අභිමතයට යටත් කිරීමට 18 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනපතිවරයා කටයුතු කරයි.

1978 වසරේ ජේ.ආර්.ජයවර්ධන ජනපතිවරයා මෙම ආණ්ඩුක‍්‍රමය යටතේ ජනපතිධූරය දරමින් ප‍්‍රකාශ කලේ මෙම ධූරය තුළින් නොකල හැක්කේ ගැහැණියෙකු පිරිමියෙකු කිරීම පමණක් බවයි. එහෙත් මෙම ඒකාධිපති සුපිරි බලය වාර දෙකකට පමණක් සීමා කිරීම (ඔහුට ධූරය දැරීමේ හැකියාවට සාපෙක්ෂව﴿ 78 ව්‍යවස්ථාවේ යම් අස්ැවැසිල්ලක් ගෙන දෙන්නක් විය. අද දෑත් ශක්තිමත් කරගත් ජනාධිපතිවරයා මේ සැරසෙන්නේ වෙනත් ගමනකටය.

සැබැවින්ම එය මගඩි නාටකයකි. මේ ලබාගන්නට තැත් කරන්නේ සැබෑ ජනවරමක් හෝ සැබෑ ජනබලයක් සඳහා අවකාශයක් හෝ නොවේ. අපි මොහොතකට 18 වන ව්‍යවස්ථා සංශෝධනය පසෙක තබා මගඩි නාටකය ගැන කතා කරමු.

සාහිත්‍ය ශූරී මාටින් වික‍්‍රමසිංහ මඩොල්දූව කෘතියෙහි ප‍්‍රයෝගකාරී සම්භවයක් ඇති සොරෙකු පිළිබඳව මගඩි නාටකයෙන් ප‍්‍රකාශ කරයි. මඩොල්දූවෙහි කතානායක උපාලි ගිනිවැල්ලේ සුරංචියා නැමැති ප‍්‍රයෝගකාරයා දකින්නේ මෙසේය.

සුරංචියා – කොළඹරාල යන නම්වලින් හැදින්වෙන මිනිසෙකු පිළිබඳ අපූරු කථා නොයෙක්වර ගැමියන් කියනු මා අසා තිබේ. ගැමියන්ගේ ඒ කථා ඇසු මම ඔහු සූර වීර සොර දෙටුවෙකැයි සිතුවෙමි. … ඔහු රැයෙහි වෙස් වලාගෙන ගොස් සුද්දන්ගේ බංගලා වලට ඇතුල්වී හැඳි, ගෑරුප්පු, පිහියා, රත්තරන් ඔරලෝසු, රිදී පින්තූර රාමු සහ වෙනත් දේ සොරකම් කරන්නෙකි. ඔහු දන්නා මන්තරයකින් මතුරා අල්ලට පිඹ අත දොරට තැබූ විගස ඒ දොර ඇරෙන්නේ යැයි ගැමියෝ කීහ.

ප‍්‍රසිද්ධ ඇනි පෙරේරා නාටිකාංගනාව රැගෙන ගමට එන සුරංචියා ගම පුරා පෝස්ටර් අලවමින් මගඩි නාටකය නැමැති නාට්‍යයකින් ගැමියන් මෝහනය කරයි. ටිකට්පත් අලෙවි කලද මගඩි නාටකය තිරගත වන්නේ නැත. ඔහු ගමම රවටමින් තමන් කෙරෙහි විශ්වාසය තැබු අහිංසක මිනිසුන්ගේ තුට්ටු දෙකත් රැගෙන පැන යන්නේ මගඩි නාටකයේ ආධාරයෙනි. සුරංචියා සොරකම් කරන්නේ තමන් හොඳින් දන්නා හඳුනන දුප්පත් අහිංසක ගැමියන්ගෙනි. ගැමියන්ද තමන් දන්නා හඳුනන හොරා තමන්ගේ එකෙකු මෙන් පිළිගනී විශ්වාස කරයි. නමුත් සත්‍ය වැටහෙනවිට සියල්ල සිදුවී හමාරය.

ව්‍යවස්ථා සංශෝධනය  මගඩි නැටුමක් වන්නේත් එම ඇසින් බැලූවිටය. නමුත් එය සුරංචියාගේ මගඩි නාටකයට වඩා සියදහස් ගුණයකින් සාහසික වෙයි. සුරංචියා ඇන්දවූයේ ගමයි. නමුත් 18 වන සංශෝධනයෙන් ඇන්දවීමට සුදානම් වන්නේ මොහොතකට පෙර එය දැඩිසේ ප‍්‍රතික්‍ෂෙප කල රටයි.

2010 අගෝස්තු 30 වන දින 18 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ අතර එය මේ මොහොත දක්වාම මහජනතාව වෙත ඉදිරිපත් කර නොමැත. නමුත් කඩිනම් අනුමැතිය සඳහා ශ්‍රේස්ඨාධිකරණය සඳහා යොමුකර තිබේ. ව්‍යවස්ථා සංශෝධනය ජනතාවාදී වන්නේ නම් එය පළමුව ඉිදිරිපත් කල යුත්තේ මහජනතාව වෙතය. එසේනම් එය මහජනතාව වෙතින් සඟවා ඇත්තේ සිතාමතාය. අදාල ලේඛණය හෝ නොමැතිව ඇමතිවරුන්, ඊනියා විද්වතුන් මාධ්‍ය තුළින් තැත් කරන්නේ එය සමාජය වෙත අලවි කිරීමටය. ඇතැම් විද්වතුන්ට අනුව එය ශ‍්‍රී ලංකාවේ සුභ අනාගතයක් සඳහා වූ එකම මාර්ගයයි. අගෝස්තු 31 වෙනිදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය සාකච්ඡුාවේ කඳුළු සඟවාගත් (අගමැති සිහිනය අතීතයට එක් කරගත්﴿ අමාත්‍යවරු දෙපළක් සිනාසෙමින් කටේ දිවේ නොගැවී කියා සිටියේ 18 වන සංශෝධනයෙන් 78 ජනාධිපති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ස්ථාවර වන බවය. (නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයාට තමා මේ ලේඛණය පළමු වරට දුටුවේ ඊයේ දිනයේ බව කියවින.﴿

මාරාන්තික උපවාස චක‍්‍රවර්ති වීරවංශ ප‍්‍රකාශ කරන්නේ ව්‍යවස්ථාව හරහා ජනයාට සහන ලබාදීමේ අදියර මෙයින් පසුව ඇරඹෙන බවයි. එය අදියර කිහිපයක ගමනකි. ( ඔහුගේ දේශපාලන විද්‍යාව අනුව ව්‍යවස්ථා සංශෝධනය අදියර කිහිපයකින් සිදුවෙයි. ﴿වීරවංශ අමාත්‍යවරයාට අනුව පළමු අදියර යටතේ සහන හිමිවිය යුත්තේ ජනාධිපතිවරයාටයි. ඉදිරියේදී ජනතාවට සහන හිමිවනු ඇත.

ආණ්ඩුවේ අපභ‍්‍රංස තුළින් කියාපාන්නේ ව්‍යවස්ථා සංශෝධනය නැමැති බැටළු සමට යටින් ඇති යථාර්ථයයි. තෙවනවර තරඟ කිරීමේ ධූරය දැරීමේ බලය හැර අන් සියලූ බලතල දැනටමත් ජනපති සතුය. එසේනම් සිදුවිය යුත්තේ දේශයේ සංවර්ධනය වේගවත් කළහැකි ජාතික සමගිය ජාතික ඒකාබද්ධතාවය ගොඩනැංවිය හැකි ලාංකික ව්‍යවස්ථාවක් සකස් කිරීමයි. වී අස්වැන්න අලෙවිය නොහැකිව ගිනි තබන, ජිවන වියදමට සරිලන වැටුපක් ඉල්ලා යදින මිනිසුන්ට ගැහැනුන්ට සහන ලබාදීමයි. නමුත් මේ කිසිවක් 18 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ප‍්‍රකාශ නොවේ.

ඉදිරිපත් කිරීමට සැරසෙන සංශෝධනය කිසිසේත්ම ජනතාව වෙනුවෙන් සිදුකරන ජනතා කැමැත්ත මත පදනම් වුවක් නොවේ. එමෙන්ම මේ සංශෝධන කරා ගමන් කරන්නේ ජනතාව විසින් ලබා දුන් මහජන බලයකින්ද නොවේ. එය මුදලට වරදානවලට බිලිබාගත් විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ කර මතින් පැමිණෙන බලයකි. එය කිසිවිටකත් සදාචාරයට එකඟ නොවේ. නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලධර්මයන්ට එකඟ නොවේ. නමුත් දෑත් ශක්තිමත් කිරීමේ මහිමය විසින් මේ සියල්ල අමතක කර දමා තිබේ. මේ ප‍්‍රයත්නය හමුවේ මඩොල්දූවේ සුරංචියාගේ මගඩි නාටකය අහිංසක ප‍්‍රයෝගයක් බවට පත්වේ. නමුත් 18 ව්‍යවස්ථා සංශෝධනය එවැන්නක් නොවේ. එය දොරගුලූ හරින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ගමනකට ය.

Advertisements

Leave a comment

Filed under Uncategorized

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s